Sunday, May 20, 2012

කුප්ප කතා අංක 01

බ්ලොග් අවකාශයේ නම ඇසූ පමණින් ඉතා අහිංසකයැයි මිනිසුන් පිලිගන්නා කිහිප දෙනෙකි. සත්‍ය වශයෙන්ම මුං හෙන කුප්පයෝය. මේ වෑයම උන්ගේ රෙදි ගැලවීමටයි.(මචං උඹලා ඉවරයි)

අංක 01 කුප්පයා
මුගේ නම ඇසූ පමණින් බොහෝ දෙනා සිතා සිටින්නේ ඉතාමත්ම හොඳ පුද්ගලයෙකු කියාය.

පුත්තලම් බූරුවන් දෙන්නෙක්ගේ වයස තිබුණත් තාම මුට කෑල්ලක් නැත. හේතව තවමත් රහසක් ලෙස පවතී. දිනක් බ්ලොග් අවකාශේ පොඩි එකෙක් තම ඥාතී සහෝදරියන් කිහිප දෙනෙක් සමග ගත් ෆොටෝවක් දැක මෙසේ පවසා ඇත..

මූ : අඩෝ... කවුද බං අර උඹ පිරිවරාගෙන ඉන්න කෑලි ටික...
පොඩි එකා : කසින්ස්ලා වගයක් බං.. ඇයි?
මූ : අඩේ මට එකෙක් සෙට් කරලා දියංකෝ
පොඩි එකා : තොට හරියන එකාට අයිතිකාරයෙක් ඉන්නවා බං...
මූ : ෂික්.. $!@$%^&*
පොඩි එකා : ඉඳිංකෝ.. උඹට සයිබර් ෆෙස්ටිවල් එක දවසට චාන්ස් එකක් දෙන්නම් කෝල් කරන්න..

සයිබර් ෆෙස්ටිවල් එක දවසේ එය මෙසේ විය. පොඩි එකා ඔහුගේ දුප්පත් ජංගම දුරකථනයෙන් එම "කෑල්ලට" ඇමතුමක් ලබාගෙන ෆෝන් එක මූ වෙත ලබා දුනි. මූ දැන් ලෙසටම මල් කුමාරයා වීමට ට්‍රයි එක දෙයි. අහෝ දුකකි ඉරකි තිතකි මල් වැලකි. ෆෝන් එකේ බැටරියද මුට පිටුපා ඇත. පසුව මූ ඒ අහිංසක පොඩි එකාට ඉතා පහත් අන්දමින් ප්‍රසිද්ධියේ බැන වැදී ඇති බව සියලු දෙනා දනී. ඊටත් පසුව මූ ප්‍රචාරය කර ඇත්තේ ඒ පොඩි එකා මස්සිනා කර ගැනීමට අකමැති නිසා එම "කෑල්ලට" අකමැති වූ බවයි.

සයිබර් සිහින කුමරා වෙන්නට ද කොණ්ඩයද පීරාගෙන, තව තොප්පියක්ද දමාගෙන, කකුල් දෙකටම කලිසම් ඇඳ, හැඩ වැඩ වී ගිය නමුත් මූට ඇපත් නැති වී ඇත.

මොහුට දඬුවම් ලැබෙන්නේ ක්‍රිකට් ක්‍රීඩාව හා සම්බන්ධ දේවල් වලින්මය. ඒ මොහු රුහුණු සේවයේ ක්‍රීඩා අංශයේ නිවේදකයෙක් නිසාද යැයි නොදනී. එහෙත් මූ නිතරම “අම්මා ගහයි විකට් කූරු තුනෙන්ම“ වැනි යෙදුම් භාවිතා කරන නිසා අපට එය පිලිගැනීමට සිදුව ඇත.

පසු දිනක මොහු ඉතා ආන්දෝලනාත්මක ෆොටෝවක් මොහුගේ බුකියේ ප්‍රොෆයිල් එකට එක් කර ඇත. ඒ මොහු තවත් ගෑනු ළමයි කිහිපදෙනෙකු පිරිවරාගෙන ලැප්ටෝප් පරිගණකයකට එබී සිටින ෆොටෝවකි. විශ්වාසවන්ත ආරංචි මාර්ගයක් පැවසුවේ මොහු ඒ අහිංසක යුවතියන් කිහිප දෙනාට අසැබි දර්ශන ඇතුලත් වීඩියෝවක් පෙන් වූ බවයි. එහෙත් මොහු එම ‍චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරයි. මෙය විශ්වාස කිරීමට සාධාරණ හේතු කිහිපයක් ඇති අතර එකක් වන්නේ මොහු සමග එම නංගිලා පිරිස අමනාප වීමයි. අනෙක් කරුණ මොහු පිරිමි ළමුන්ට කරදර කිරීම ආරම්භ කිරීමයි.

පසුගිය දිනක මූ ප්‍රසිද්ධියේම කොස් කොළයාට හා චූ මලයාට කලිසම් ඔලුවෙන් ගලවන බවට තර්ජනය කරනු ලැබීය. දැනටමත් කිහිප දෙනෙකුගේ කලිසම් ගලවා බලා ඇති බව ආරංචි වී ඇත. මුගෙන් ප්‍රවේසම් වන්න.

අංක 02 කුප්පයා

හද්ද ඩොටේ පිහිටි සක්වලකින් මේ පලාතට පැමිණි එක් පුද්ගලයෙක් (මොකෙක්ද මන්දා) මේ දින වල පොර වීමට වෑයම් කරමින් සිටි. කලින් ලියමින් සිටි බ්ලොග් අඩවිය ද වසා දමා මෑතකදී නව බ්ලොග් අඩවියක් ආරම්භ කර ඇත. මුල් දින වලදී ‍මේ ප්‍රදේශයත් මූ කලින් සිටි සක්වල මෙන් සීතල යැයි සිතා මුලින් අත් දිගට ඇති ෂර්ට් හා කකුල් දෙකටම කලිසම් ඇඳ ඇත. පසුව බ්ලොග් අවකාශයේ සිටින සැර බීම වර්ග දිව්‍ය ඖෂධ ලෙස හඳුනාගන්නා පුද්‍ගලයෙකු අනුගමනම කරමින් මූත් කොට කලිසම් ඇඳීම ආරම්භ කර ඇත. නිතරම හෙන කලාකරුවා යැයි පෙන්වීමට කනේ ගසාගෙන සිටින වයර් දෙකත්, හෙන ඩයල් එක බව පෙන්වීමට පිට හරහට දමාගෙන සිටින ලැප්ටොප් පරිගණකයත් මූ හඳුනාගත හැකි ප්‍රධාන ලක්ෂණ වේ.

‍තවත් සැවොම නොදන්නා කරුණක් වන්නේ මූ පොඩි එකෙකු මෙන් නිතරම තෙමා ගන්නා පුද්ගලයෙකු බවයි. මෙය මනාව තහවුරු වූයේ 2012 සයිබර් සිහින උළෙලේදීය. අවසානයේදි නිවසට ගොස් තව පොඩි එකෙක් සංගීතය හා සම්බන්ධ වැඩකට යාමට කතා කල විට පවසා ඇත්තේ "මචං මට එන්න වෙන්නේ නෑ බං... ඇඳුම් ඔක්කොම ඉවරයි.. හෝදලා නෑ එකක්වත්" යනුවෙන්ය.

මොහු ඉතා හොඳ පුද්ගලයෙක් බව බොහෝ දෙනා විශ්වාස කලත් මොහුට ඇත්තේ ඉතාමත්ම කැත හිතකි. බොහෝ දේ මූට පෙනෙන්නේ ඉතාමත්ම කැත ආකාරයටය. මොහුගේ බුකියේ ‍මිතුරන් එය හොඳින්ම දන්නා කරුණකි.

ප.ලි. :
චූ මලයා දින කිහිපයක් බුකියෙන් අතුරුදහන් උනොත් එයට වගකිය යුත්තේ ද මේ කුප්පයන් දෙදෙනාමය... තව කුප්පයන් කිහිප දෙනෙක් ගැන මීලග පොස්ට් එකෙන්... අඩෝ මේ උඹලා දන්නෑ තාම මගේ හැටි අරී... පරිස්සම් වෙයල්ලා...

Sunday, May 13, 2012

ආදරණීය ඔබා මාමේ.....

ඔබා මාමා මියගිහින්.... අද උදේ ලැබුණු ආරංචිය අදහාගන්න බැරිවුනේ ඊයෙ පෙරේදත් ඔබා මාමා සයිබර් අවකාශයේ සැරිසරපු හින්දා. පර්ත් නුවර වෙසක් උත්සවය ගැන පෝස්ට් එකක් කියෙව්වෙ ඊයෙ පෙරේදා. කොහොම වුනත් මේ වෙනකොට අපේ ආදරණීය ඔබ්සවර් අංකල්, එහෙමත් නැත්නම් ඔබා මාමා අපි අතර නැහැ.

මාරයා මේ ගැන ලියලා තිබුනේ මෙන්න මේ විදියට.
“දැනට දැන ගන්නට ඇති පරිදි ඕස්ට්‍රේලියාවේදී අද දින (2012/05/13) උදෑසන ව්‍යායාමය පිණිස ඇවිඳිමට ගොසින් සිටියදී සිය වැඩිමහළු දියණියගේ නිවස අසලදීම හදිසියේ ඇති වූ රෝගී තත්වයකින් සනත් (ඔබ්සවර්) අයියා.. අභාවප්‍රාප්ත වී ඇති බව ඔහුගේ සොයුරිය විසින් දැනුම් දෙන ලදි... අවසන් කටයුතු පිළිබඳව වැඩි විස්තරයක් දැනට නැතත් එය එරටටදීම සිදු කරනු ඇතැයිද ගම්පහ පිහිටි සොයුරියගේ නිවසේදී ඒ වෙනුවෙන් පින්කමක් යෙදෙනු ඇතැයිද දැනට කිව හැක... ඒ පිළිබඳව පවුලේ ඥාතීන් විසින් බ්ලොග් හිතවතුනටත් දැනුම්දීමක් කරන්නට හැක...“

ඔබා මාමා අපි කාගෙත් ආදරණීයයෙක්. ඒ ගැන වැඩිපුරම දැක්කෙ අද උදේ ඉඳලා පළවෙලා තිබුනු බ්ලොග් පෝස්ට් සහ බුකියේ ස්ටේටස් වලින්.


මේ ඒවාගෙන් කීපයක්.



 -   හඳුනාගත් දින පටන් අප සතුටින් තැබූ පිනෙන්ම
සනත් (ඔබ්සවර්)
අයියේ නුඹට නිවන් සුවයම ලැබේවා..!

 - ආදරණීය සනත් විජේවර්ධන හෙවත් ඔබා මාමේ...ඔබට අජරාමර නිවන් සුව!

- ආයෙත් මගෙ තියා කාගේවත් පෝස්ට් කියවීමට ඔබා මාමා එන්නේ නැත....
                            දයාබර සහෘදය ඔබට නිවන් සුව!!!




අළුතින් බ්ලොග් අවකාශයට ආපු අපි වගේ ගොඩක් අය ඔබා මාමව හැබැහින් දැක්කෙ මේ සැරේ සයිබර් සිහින උළෙල දවසෙදි. සමහර තරුණයන්ට වඩා ඔබා මාමා තරුණයි කියලා අපිට හිතුනා. සයිබර් සිහින කුමරා සහ කුමරිය තේරීමේ විනිශ්චය මණ්ඩලයේ සම්භාවනීය විනිශ්චයකරුවෙක් විදියටත් ඔබා මාමා කටයුතු කලා මතක ඇති.







මේ පින්තූර වෙනී අයියගෙ මං හිතන්නේ. උඩම එක සැමාගේ. පස්සෙ පොඩි මෑන් සයිබර් සිහින උළෙලේ පින්තූර කතා කරවද්දිත් ඔබා මාමට වැදගත් තැනක් දීලා තිබුනා.





ඒ විතරක් නෙමෙයි. වෙනි අයියත් ඔබා මාමට හඬ කවලා තිබුනා.


අපි පිලිගන්න කොයිතරම් අකමැති වුනත් ඔබා මාමා අද අපිව දාලා යන්න ගිහින්. ආයෙත් ඔබා මාමගේ පෝස්ට් එකක්, කමෙන්ට් එකක් කවදාවත්ම දකින්න ලැබෙන්නෙ නෑ. ඔබා මාමේ, සිංහල සයිබර් අවකාශයට ඔයා නැති අඩුව තදින්ම දැනේවි. සමහරවිට අදටත් වඩා හෙට. අන්න එදාට එකම එක සැරයක් අපිව බලන්න ඇවිත් යන්න එන්න. එහෙම නැත්නම් අපි ඇවිත් යන්න එන්නම් කවදාම හරි දවසක, රාජ් මෙහෙම ලිව්වා වගේ...

දයාබර මිතුර,
කිසිදා අප හමු නොවුවත්,
නිමක් දකින්න බැරිවුන,
මේ සංසාර සාගරේ,
ගොඩාක් කලකට ඉස්සර,
මතකද?
අපි හොද මිත්‍රයෝ!
ඉස්සරහටත්,
එහෙමමයි.
දවසක එන්නම්,
හමුවෙන්න ලෙංගතුකමින්.
දිනයක් වෙලාවක් තැනක් කියන්න බෑ,
සත්තයි!
එනවමයි.

ඇත්තටම ඔබා මාමේ, ඔයා නැතුව පාළුයි....


දයාබර සොයුර/ සොයුරිය,
අප සියල්ලන්ගේම හදවත් කම්පනය කළ ඔබා මාමාගේ හදිසි නික්මයාම හේතුවෙන් දෙමංසල බ්ලොග් අඩවියෙහි සති කිහිපයකට අළුත් පෝස්ට් පළ කිරීමෙන් වැලකී සිටීමට අප කණ්ඩායම තීරණය කර ඇති බව දැනුම්දෙනු කැමැත්තෙමු.

ස්තුතියි...!

Friday, May 11, 2012

බ්ලොග් අවකාශයේ ලාබාලතමයා සමග දෙමංසළේ චූ මල්ලි කල සම්මුඛ සාකච්ඡාව


චූ මල්ලි: දෙමංසළ සමග මුල්ම සම්මුඛ සාකච්ඡාවට අද එකතු වන්නේ බ්ලොග් අවකාශයේ ලාබාලතම බ්ලොග් කරුවා වන බිම්සර වලල්ලාවිටයි.  MyTechnicals blog අඩවියේ කතෘ වන මොහු සංගීත හා පරිගණක කෙරෙහි දැඩි ඇල්මක් දක්වන්නෙකි. 

බිම්සර, ඔබ මේ බ්ලොග් අවකාශය කෙරෙහි දෙන කෙටිම නිර්වචනය කුමක්ද?

බිම්සර : මගෙන්ද ඇහුවේ... ආ මේකයි.. මං කියන්නේ මේක මාර සිරා කමියුනිටි එකක් උඹලා වගේ උන් මෙතන නැත්නම්.. සිරාවට.

අපි බලාපොරොත්තු උන ආකාරයේ පිලිතුරක් නෙමෙයි ලැබුනේ. කමක් නැහැ. ඔබ පරිගණක කෙරෙහි දැඩි ඇල්මක් දක්වන බව පේනවා. ඔබ දවසම පරිගණකය අසල සිටින්නෙකු බව හැමෝම කියන කරුණක්. ඇත්තටම ඔබ මොනවද පරිගණකයේ මෙතරම් කරන්නේ?

බිම්සර: හුටා.!!! මේ‍... මේ.. මං ඇත්තටම කරන්නේ.. ඇත්තම කියනවානම්.. මං ඇත්තටම කරන්නේ මොකෙක්ට හරි බුකියේ මඩ ගහන්න යන එක තමා.. හැබැයි වෙන්නේ මට මඩනාන්න වෙන එක.. මේක මල කරුමයක් ඕයි.

සයිබර් සිහින උළෙලේදි හෙලිඋන කරුණක් තමයි ඔබ අක්කලා සමග සිටීමට ඉතාමත්ම ප්‍රියතාවයක් දක්වන බව.. එයට හේතුව කුමක්ද කියා ඇසුවොත්?

බිම්සර: මගුලක් කතා කරන්න එපා.. අක්කලා තමා මට ඉන්න දෙන්නේ නැත්තේ..

මෙවර මොහු ඉතාමත්ම ආන්දෝලනාත්මක පිලිතුරක් ලබා දෙන්නේ.. එතකොට අක්කලා ඔබට කරදර කරන බව තමයි ඔබ පවසන්නේ???

බිම්සර: උඹට මං පටන්ගන්න කලින් කිව්වා කට උත්තර නැති වෙන ප්‍රශ්න අහන්න එපා කියලා.. බෙල්ල කපලා ‍වැල්ලෙ කොල්ලන්ට දෙනවා ෆුට් බෝල් ගහන්න දැනගනිං...

සංවාදය මදක් උනුසුම් වෙන බැවින්.. එයට නිමෙන්නට ඉඩ හැර අපි යමු ප්‍රධාන පාලක මැදිරියට අනුග්‍රාහක භවතාගේ පණිවුඩ කිහිපයක් සඳහා..

_________________________________________________

ඔබේ දරුවාට ඈළි මෑලි ගති ඇත්නම්
අදම ලෑලි කෑලි තම්බා දෙන්න...

අඩුම මිලට පිරිසිදු ලෑලි කෑලි..
ද බනී ලී මෝළ
අදම විමසන්න..

__________________________________________________

විරාමයෙන් පසුව අපි නැවතත් බිම්සර සමග කතා බහට එකතු වෙමු.. දැන් අපි විමසා බලමු බිම්සරගේ සංගීත ජීවිතය ගැන.. ඔබ සංගීතය කෙරෙහි යොමු වුන හැටි පැවසුවොත්?

බිම්සර: මෙහෙමයි සීන් එක.. මං චූටි කාලේ ඉඳන් ඔය පොඩි පොඩි සින්දු රිමික්ස් කර කර කිව්වා... උදාහරණයක් විදියට එකට සතුටු සාගරේ ගීතය මේ ආකාරයෙන් මං රීමික්ස් කලා.. මං පෙර පාසල් යන කාලේ..

එකට සතුටු සාගරේ...
පීන පීන නාන සේ...
නාලා නාලා පීනසේ...

ඊට පස්සේ 2 පන්තියේදි ද කොහෙද ඉස්කෝලෙදි සින්දුවක් කිව්වා ඕගන් එක ප්ලේ කර කර... එතකොට ළමයි අහන් හිටියේ කන් දෙක දෙපැත්තෙන් අත් දෙකත් තියාගෙන.. මාරයි ආ.. ලොවෙත් නෑ.

එතකොට ඔබගේ වර්තමාන සංගීත නිර්මාණ කටයුතු ගැන කිව්වොත්...

බිම්සර: මගේ දැන් සංගීත නිර්මාණ ගැන කියනවානම්... (උගුර පාදමින්) මිනිස්සු කියන්නේ කනට උනු උනු මී පැණි වක්කරනවා වගේ කියලා ඒවා ඇහෙනකොට.. මං ඉතින් නිකමට වගේ ඇයි ඒ කියලා ඇහුවා... එතකොට කියනවා ඒ සින්දුවක් ඇහුවට පස්සේ එහා පැත්තෙ ඉන්න එකා කෑගැහුවත් ඇහෙන්නේ රහසක් කියනවා වගේලු.. සංගීත සංදර්ශනයකට ගියාම එහෙම අර තඩි බෆල් එකකට කන තියාගෙන උනත් සින්දු අහන්න පුලුවන්ලු.. පේනවානේ මගේ හැකියාව

පසුගිය දවස් වල අපි දැක්කා ඔබ මල ගෙවල් කිහිපයක්ම සංවිධානය කරනවා.. ඔබ මලගෙයක් සාර්ථක කරගැනීමට ගන්නා පියවරවල් මොනවද?

බිම්සර: මලගෙයක් වෙන්න එනවා නම් මං ටක් ගාලා බුකියේ ඒ ස්ටේටස් එකට කමෙන්ට් කරලා.. සිහිනයාට කියනවා DJ එකක් අරන් වරෙන් කියලා.. මොකද අපි මල ගෙදරදි දාන්න ඕනේ මිනිස්සු‍න්ගේ සිත් බැතියෙන් පහන්වෙන.. දුක් දුරු වෙන.. අනිත්‍ය බව පැහැදිලි වෙන ගීතනේ.. ඉතින් මං ප්‍රදාන වශයෙන් කුසල්, සිල්, ලෝභ නොවන බව ඇඟවෙන සින්දු තමා දාන්නේ.. උදාහරණයක් විදියට පින් මාලු වලේ කුසල් හාමි මාලු බානවා...

කරුණාකරලා එම ගීතය කුසල් හා සම්බන්ධ වන ආකාරය පැහැදිලි කරනවද??

බිම්සර: ෂික් ඕයි.. ඒ සින්දුව කුසල් එක්ක කිසිම සම්බන්ධයක් ඇති ‍කරගෙන නෑ.. කැත හිත මුන්ගේ..

නෑ මං අහන්නේ ඒ මේ ආගමත් සමග සම්බන්ධ වන ආකාරය...

බිම්සර: ඒ ආකාරය කියනවා නම්... මේකේ මුල් පදයේ පින් ගැන කියවෙනවා.. ඉතින් හාමුදුරුවෝ උනත් බණ කියනකොට නිතරම පින් ගැන කියනවානේ.. සිල් කිව්වොත් ඔය හැම කෙනාම කියන්නේ... පන්සිල් අටසිල් දසසිල්...

ඊළග පදය තමා වැදගත්ම.. ධනපාල උනත් මිනිහා මහ පාරෙ හිඟනවා.. ඒ කියන්නේ චූ මලයෝ ධනපාල කොච්චර සල්ලි කාරයා උනත් ඒවා කෙරෙහි ආසාවක් නැතුව මහ පාරේ සුපුරුදු විදියට හිඟාකනවා කියලා.. දැන් බලන්න මේ ගීතය කොච්චර ආගමානුකූලද? මළ ගෙදරට ගැලපෙනවද කියලා..

ඉතාමත්ම නැණවත් පැහැදිලි කිරීමක්.. එතකොට ඔය ආකාරයට ඔය මළ ගෙදරට විශාල ජන ගංගාවක් පැමිණියොත් ඔබ මොකක්ද ගන්න පියවර...

බිම්සර: හරි‍ම ලේසිනේ මලයා... පටස් ගාලා දානවා බෝට්ටු දෙක තුනක්

ඔබ තවමත් අධ්‍යාපනය ලබන වයසේ කෙනෙක්.. ඔබගේ අධ්‍යාපන කටයුතු ගැන කිව්වොත්...

බිම්සර: කෙටියෙන්ම කියනවානම් අන්තිමයි අසාධ්‍යයි...

ඇයි එහෙම කියන්නේ???

බිම්සර: මොන මගුලක්ද යකෝ.. කීපාරක් කිව්වද උත්තර නැති වෙන ප්‍රශ්න අහන්න එපා කියලා.. දෙන්නේ තොගේ හොම්බ රිවට් වෙන්න..

බිම්සර මහත්මයා වචන භාවිතයේදි ප්‍රවේසම් වන්න.. මෙය සජීව විකාශයක්...

බිම්සර: මොන මගුලක් උනාම මට මොකද බං... උඹ කනපලාගන්නේ නැතුව කටවහගෙන ඉඳපං... බැරිනම් චූ කරලා නිදා ගනිං.. නැත්නම් තෝ මං නරක මිනිහා කියන්න එපා $@!%^&*


Thursday, May 10, 2012

පූර්විකාව


එක එක විදියෙ කෂ්ටිය සිංහලෙන් බ්ලොග් අකුරු කොටන්න පටන් අරන් අවුරුදු කීපයක් ගෙවෙද්දි යාළු මිත්‍රකම් ගොඩනැගිලා දුකේදි සැපේදි පිහිටවෙන ලොකු කණ්ඩායමක් බවට පත්වෙලා. එතනින් එහාටත් ගිහිල්ලා ඒ අය අතරින්ම පවුල් පන්සල් වෙච්ච අයත් ඉන්න මේ සමාජය ලොකු වචන වලින් කිව්වොත් උප සංස්කෘතියක් විදියටත් හදුන්වන්න පුළුවන්. ඔන්න ඔය කණ්ඩායම ඇතුලෙ ඉන්න කොල්ලො දෙන්නෙක් අළුත් බ්ලොග් එකක් පටන්ගන්න කතා කරගත්තා. එකෙක් තමයි කොස්කොළයා. 2012 සයිබර් සිහින උළෙලට ආපු කෂ්ටිය දැනගන්න ඕන නම කියපුවාම. අනිත් එකා චූ කොල්ලා. බුකියෙ චැට් එකට සෙට්වෙන බ්ලොග්කාරියන් මෙයාව දන්නවා. මතකනේ "චූ කරලා නිදාගන්න".



යාළු මිත්‍රකම් ගැන, බ්ලොග්කරුවන්ගේ සහෝදරකම් ගැන කතාබහ වෙන මේ කාලෙ දෙමංසලේ අරමුණ තමයි මේ බැීම ශක්තිමත් කරන්න පොඩි තල්ලුවක් දෙන එක. විහිළු කියන ජාතිය හැදිලා තියෙන්නේ පට්ට ෆිට් එකේ ඉන්න සෙට් එකක් ඇතුලෙ එක එකාව බයිට් කරන්න සහ එක එකාට වෙන අකරතැබ්බ වලට සැහැල්ලුවෙන් ප්‍රතිචාර දක්වන්න උදව්වක් විදියට. දෙමංසල බිහිවෙන්නෙත් මේ විහිළු එහෙමත් නැත්තම් මඩ පදනම් කරගෙන. අපි දෙන්නා විශ්වාස කරන විදියට සයිබර් අවකාශයේ මිතුරෝ කියන්නෙ පට්ට බැීමක් තියෙන තමන්ට වදින මඩ පාරක් හිනාවෙලා විගන්න ගමන් අනිත් උන්ට ඕනම මඩක් ගහලා සැහැල්ලුවෙන් ඉන්න පුළුවන් සෙට් එකක්. මේ ඉඩ වෙන්වෙන්නේ ඒ වැඩේට. 



අපි අතරෙ ඉන්න ජ්‍යෙෂ්ඨ කණිෂ්ඨ ඕනම කෙනෙකුට ‍දෙමංසලේදි මඩක් වදින්න පුළුවන්. හැබැයි ඒ හැම එකක්ම සහෝදරකමට මිසක් කුහකකමකට ගහන මඩ නෙමෙයි. ඒ වගේම අපි අත්දැකීමෙන් දන්න විදියට ගොඩක් වුන් එකිනෙකා දැකලා නැති වුනත් ගහන මඩ වලින් නම කියපු ගමන් දන්නවා. ඒ නිසා අපි අතරෙ ඉන්න බ්ලොග් ලියන කියවන ඕනම කෙනෙකුට මේ පැත්තට ඇවිත් යන්න පුළුවන්. හැබැයි ඇත්ත මූණෙන්. අපි ලියන මඩක් කියවලා රස විලා යන්න එන්න කියලා අපි ආදරයෙන් ආරාධනා කරනවා. ඒ වගේම ඔයාලා දන්න අපේ කෂ්ටියගේ රසවත් දේවල් අපිට කිව්වොත් ඒවටත් තැනක් ලැබෙයි. හැබැයි කෙනෙක්ව අපහාසයට ලක්වෙන විදියේ ඇනෝ කමෙන්ට් දැම්මොත් ඒවා ඩිලීට් කරන්න වෙනවා කියලත් මතක තියාගන්න.



එහෙනම් හෙට ඉදලා මේ පැත්තෙ ඇවිත් යන්න එන්න. ඒ වගේම කවදාහරි ලදිම දවසක දෙමංසලේ ඔයාගෙ නම තිබුනොත් තරහා ගන්න එපා කියලත් ආදරෙන් මතක් කරනවා.

"මඩ සහ විහිළු කතාවන්...
රස විිනට තුටිනා...
අද මෙහි පැමිණා...
පිළිගමු මිතුරනි සොිනා...."